Wednesday, December 14, 2011

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයෙන් පිපාසිතව.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (15) දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් හිදී අරම්භවීමට නියමිතව ඇත.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු කණ්ඩායමක් වශයෙන් දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා පකිස්ථානය හමුවේ තරගාවලි පරාජයන්ට ලක්විය. කෙසේ වෙතත් මෙම තරගාවලියේ අවසන් ප්‍රතිපලය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හා පිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වූ   තිලකරත්න ඩිල්ෂාන් හට නිසැකයෙන්ම ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇති බව ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින්ගේ මතය වී ඇත.



කෙසේ වෙතත් වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිලි වලින් සමන්විත දකුණු අප්‍රිකානු ක්‍රීඩාංගනයන් හි ක්‍රීඩා කිරීමට උචිත ශ්‍රී ලංකික වේග පන්දුයවන්නන් සැලකිය යුතු පිරිසක් අබාධයන්ට ලක්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහත් අසීරු තත්වයකට පත්ව ඇත. නුවන් කුලසේකර , සුරංග ලක්මාල්, ශාමින්ද එරංග සහ නවක ක්‍රීඩක නුවන් ප්‍රදීප් මෙසේ අබාධයන්ට ලක් වූ වේග පන්දු යවන්නන් වේ. මේ අනුව බොහෝ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් සේම ක්‍රිකට් විචාරකයිගේද අදහස වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන තත්වය හමුවේ තරගවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු බවය. මෙම මතයන් පිලිබදව මාධ්‍ය හමුවන් හිදී අදහස් දැක වූ තිලකරත්න ඩිල්ෂාන් , කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පවසා සිටියේ එම මතයන්ට සුදුසු පිළිතුරු දිමට තම කණ්ඩායම සුදානම් බවයි.

පුහුණු තරගයේදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු යහපත් සෞඛ්‍ය මට්ටමක සිටින බවත් ඔහු පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.



ශ්‍රී ලංකා කණ්ඩායම,

තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිල්හාර ප්‍රනාන්දු , රංගන හේරත්, මහේල ජයවර්ධන, දිමුත් කරුණාරත්න, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, තිසර පෙරේරා, තිලාන් සමරවීර, කුමාර් සංගක්කාර, කෞශල්‍ සිල්වා, ලහිරු තිරිමාන්න, චානක වෙලගෙදර.

Thursday, November 24, 2011

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහලට ඇදවැටෙයි.

පකිස්තානු කණ්ඩායමත් සමග පැවති අවසන් එක්දින තරගය කඩුළු තුනකින් පරාජය වීමත් සමග එක්දින ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය.ඒ අනුව එක්දින තරග 33 කට මුහුණ දෙමින් ශ්‍රී ලංකා පිල ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 112 කි. මෙම තරගාවලි ජයග්‍රහණයත් සමග එක්දින ශ්‍රේණිගත කිරීම් හි සයවන ස්ථානයේ සිටි පකිස්තානු පිල ප්‍රසාද ලකුණු 108 සමගින් පස්වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට සමත් විය. ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඕස්ට්‍රේලියා , ඉන්දීය සහ දකුණු අප්‍රිකාව යන ක්‍රිකට් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 130,118, සහ 115 බැගින් ලබාගෙන පිළිවලින් ශ්‍රේණිගත කිරීම් හි පළමු දෙවන හා තෙවන ස්ථාන දිනාගෙන සිටි. 


වර්තමාන ICC එක්දින ශ්‍රේණිගත කිරීම් පහත දැක්වේ.


Monday, November 21, 2011

තරගාවලියේ ජයග්‍රහණය පකිස්ථානයට, ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමක.

නොසිතු විරූ ලෙස පකිස්ථාන කණ්ඩායම ක්‍රීඩා පිටිය තුල දැක්වූ  පෙරළිකාර ක්‍රීඩා විලාශය හේතුවෙන් ශ්‍රී ලංකාවත් සමග පැවති සිව්වන එක්දින තරගයේ ජයග්‍රහණයත් සමග සමස්ත තරගාවලියේම ජය හිමි කරගැනීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය. වරෙක ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වික්‍ෂිප්ත කරමින් පෙරළිකාර ජයක් ලබන්නට පකිස්තානු පිල සමත් විය. මෙම ජයග්‍රහණයේ නියමුවා වෙමින් පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දක්වමින් තරගයේ විරයා සම්මානය හිමිකර ගැනීමට හිටපු පකිස්තානු ක්‍රිකට් නායක සහියිඩ් අෆ්රිඩි සමත් විය.



කාසියේ වාසිය දිනාගත් නායක මිස්බා-උල්-හක් මුලින්ම පන්දුවට පහර දීමට තිරණය කල අතර එ අනුව පිටියට පිවිසි පකිස්තානු ආරම්භක පිතිකරුවන් ඉක්මනින්ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය. ඒ අනුව 120/7 ලෙස ලකුණු පුවරුවේ දිස්වෙද්දී ක්‍රියාත්මක වූ පකිස්තානු කණ්ඩායමේ හිටපු නායක සහියිඩ් අෆ්රිඩි පන්දු 64 මුහුණ දෙමින් 6 පහර 3 ක් සහ 4 පහර 4ක් සමගින් වේගවත් ලකුණු 74 ක් රැස්කරමින් පකිස්තානු කණ්ඩායම ලකුණු 200 සිමාව කරා රැගෙන යාමට සමත් විය. 



ඒ අනුව ලකුණු 200 හබායමට යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් නැවතත් අසාර්ථක කරමින් උපුල් තරංග නායක තිලකරත්න ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් මුළු ලකුණුපුවරුව ලකුණු 53 ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පකිස්තානු පන්දු යවන්නන් සමත් විය. ඉන් අනතුරුව පිටියට එක්වූ මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර හා එක්වී සිව්වන කඩුල්ල සදහා ගොඩනැගු සබදතාවය ලකුණු 102 ක් විය. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 155 ක් වෙද්දී සහියිඩ් අෆ්රිඩි විසින් ලකුණු 58 රැස්කර සිටි කුමාර සංගක්කාර දවා ගැනීමත් සමග  නැවත කඩුලු දඩයම ‌‍ආරම්භ කල පකිස්තානු පන්දු යවන්නන් ලකුණු 19ක් තුලදී කඩුලු 7 ක් බිදහෙළීමට සමත් විය. ඒ සමග ම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 174 කට සීමා කරමින් ලකුණු 26 ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට පකිස්තානු කණ්ඩායම සමත් විය. එහි දී අතිදක්ෂ පන්දු යැවීමක නිරත වූ සහියිඩ් අෆ්රිඩි ලකුණු 35 කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය.



මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැවත නැවතත් තම අසාර්ථක ක්‍රීඩා විලාශය පෙන්නුම් කල අතර මෙම තරගාවලි පරාජයත් සමගම එක්දින ශ්‍රේණි ගතකිරීම වල දෙවන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා පහලට වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අස්ථාවර ක්‍රීඩා විලාසය මෙම තරගාවලිය පුරාම දක්නට ලැබුණු අතර එම හේතුවෙන් ජයග්‍රණය කිරීමට පහසු තරග පවා අවසානයේ පකිස්තානු කණ්ඩායමේ ජයග්‍රහණයට නතු විය. කෙසේ වෙතත් දිගින් දිගටම අසාර්ථක වූ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ අසාර්ථකත්වය මෙම තරගය තුලදී ද දක්නට ලැබුණි. එකපිට දෙවරක් ලෝක ක්‍රිකට් අනුශුරතාවය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන ක්‍රීඩා විලාසය පිලිබදව ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින් ද දක්වන්නේ අප්‍රසාදයකි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් බහුතරයගේගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව පිළිබද නැවත සිතීමට කාලය පැමිණ ඇති බවකි. 

Friday, November 18, 2011

පකිස්තානය ඉදිරියෙන් , ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පිඩනයක.

පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය 2-1 ලෙස පෙරමුණ ගැනීමට පකිස්තානය ඊයේ සමත් විය. ඒ තරගාවලියේ තෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය පකිස්තානය සතු කරගැනීමත් සමගය. කාසියේ වාසිය දිනාගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී . ඒ අනුව පිටියට පිවිසි පකිස්තානු ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබදතාවය ලකුණු 151 ක් විය. පළමු කඩුල්ල ලෙස මොහොමඩ් හෆිස්, සික්කුගේ ප්‍රසන්න විසින් දවා ගනිද්දී ඔහු ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 83ක් විය. ඉන් අනතුරුව කඩුළු දඩයම ආරම්භකල ශ්‍රී ලංකික පන්දු යවන්නන් වරෙක ලකුණු 300 කඩයිම පසුකල හැකි මට්ටමේ සිටි පකිස්තානු කණ්ඩායම ලකුණු 257/8 සිමා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලසිත් මාලිංග හා සික්කුගේ ප්‍රසන්න කඩුලු දෙක බැගින් ද ඩිල්ෂාන් හා තිසර පෙරේරා කඩුලු එක බැගින් ද දවා ගැනීමට සමත්විය. 


අනතුරුව ලකුණු 258ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ප්‍රථම පන්දු වාරයේදීම දවා ගැනීමට උමාර් ගුල් සමත්විය. ඒ ලකුණු 4ක් ලබා සිටි උපුල් තරංග දවා ගැනීමත් සමගය අනතුරුව පිටියට පිවිසි කුමාර සංගක්කාර හා නායක තිලකරත්න ඩිල්ෂාන් අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සබදතාවය ලකුණු 106කි. කඩුලු අතර දිවිමේදී ඇතිවූ අනවබෝධය හේතුවෙන් සංගක්කාර දැවී යද්දී ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 45ක් විය. මෙම දැවීයාම තරගයේ තීරණාත්මක අවස්ථාව වූ බව විචාරකයින්ගේ අදහස විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස අෆ්රිඩිගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් නායක තිලකරත්න ඩිල්ෂාන් පිටියෙන් ඉවත් වෙද්දී සිය 34 වන එක්දින අර්ධශතකය සමගින් ඔහු ලබගෙන් සිටි ලකුණු සංඛ්‍යාව 64 ක් විය. මින් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් 31(47), ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32(40) වශයෙන් ලකුණු රැස් කිරීමට සමත් වුවත් එය ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙනයාමට ප්‍රමාණවත් නොවිය. ඒ අනුව පන්දුවාර 48 පන්දු 5 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 236ක් පමණි. සහයිඩ් අජ්මාල් 42/3, උමාර් ගුල් 48/3, සහයිඩ් අෆ්රිඩි 42/2 දක්ෂ ලෙස පන්දු යවමින් පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය සදහා මෙහෙය විය.


 
මෙම තරගයේදී සිදුවූ සුවිශේෂි සිදුවීම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එක්දින ලකුණු 10 000 පසු කිරීමයි.මෙවැනි දස්කමක් දැක වූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට මහේල ජයවර්ධන පත්විය එසේම ලෝක ක්‍රිකට් වාර්තා අතර එම දස්කම දැක්වූ නමවැනි ක්‍රීඩකයා ලෙස මහේල පත්විය.



කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය සමග පකිස්ථාන කණ්ඩායම තරගාවලිය 2-1 ලෙස පෙරමුණ ගැනීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය පිළිබද යම් බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට නම් ලබන ඉරිදා ආරම්භවන සිව්වන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වේ. දිගින් දිගයටම අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිටිය තුල යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමට නම් මෙම තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී කණ්ඩායමට අතිශයින්ම වැදගත්වේ.



කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මත ඇති දැඩි පීඩනය සමගින් සිව්වන එක්දින තරගය ජය ගැනීමට නම් මහත් වෙහෙසක් දැරීමට සිදුවන බව ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින්ගේ මතය වී ඇත.


 

Wednesday, November 16, 2011

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ජයග්‍රහණයට සුදානම් ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර තෙවැනි තරගය සිකුරාදා (18) දින ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වීමත් සමග කණ්ඩායම් දෙකම තරග පහකින් (5) සමන්විත එක්දින තරගාවලිය 1-1 ලෙස  සමතත්වයට පත්විය. දෙවැනි තරගයේදී  උපුල් තරංග 77 (177) , මහේල ජයවර්ධන 50 (57) පිතිකරණයෙන් ද ලසිත් මාලිංග 36/3, තිසර පෙරේරා 30/2 පන්දුවෙන් ද කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.


මේ අනුව තරගාවලියේ තෙවැනි තරගය උණුසුම් තීරණාත්මක තරගයක් වනු නිසැකය ඒ තෙවැනි තරගය ජයගෙන අනවශ්‍ය පිඩනයකින් තොරව සිව්වන තරගයට පිවිසීමට කණ්ඩායම් දෙකම බලාපොරොත්තුවනු ඇති හෙයිනි. දෙවැනි තරගයේ ජයග්‍රහණය දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නව ජිවයක්‌ එක් කල බවයි ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී ඇත්තේ. කෙසේ වෙතත් තෙවැනි තරගය ජය ගැනීමට නම් දිගින් දිගටම පිටිය තුලදී පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නැවතත් ක්‍රියාමත්මක විම ප්‍රධාන සාධකයක් බව විචාරකයන් පවසයි.



සිකුරාදා පැවැත්වෙන තෙවැනි තරගයේදී තිලකරත්න  ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, සහියිඩ් අෆ්රිඩි, සහියිඩ් අජ්මාල්, අබ්දුල් රසාක්, මිස්බා-උල්-හක්, අසිස් චීමා කණ්ඩායම් දෙකේ ප්‍රධාන තුරුම්පු ලෙස ක්‍රියාකරනු ඇත.




Thursday, May 26, 2011

තරඟාවලියට සුදානම්



අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේ සංචාරය කොට ඇත්තේ 2006 වසරේදීය. එම තරගාලියේදී කණ්ඩායම් ද්විත්වයම තරගය බැගින් ජය ගෙන සම ජයක් ලබන්නට සමත් විය. වසර පහකට පසුව එංගලන්තයේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය සංචාරය ඉතා වැදගත් එකකි. මන්ද මෙම තරගාවලියේ තීරණයට වත්මන් ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයට බලපෑමක් කල හැකි හෙයිනි. දැනට ටෙස්ට් වර්ගීකරණයේ එංගලන්ත කණ්ඩායමට පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ටෙස්ට් තරගාවලිය ජයගත හැකි වුවහොත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි වේ.

තරගාවලියට ප්‍රථම පුහුණු තරග දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග දෙකම ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් පසුවේ. එය ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත. මෙම පහුණු තරගයන් දෙකෙහිම කැපිපෙනෙන ලක්ෂණය වුයේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අඩුවයි. එහෙත් රංගන හේරත් අජන්ත මෙන්ඩිස් මෙන්ම දෙවැනි පුහුණු තරගයට සහභාගී වූ සුරාජ් රන්දිව් ද කැපිපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. දෙවැනි පුහුණු තරගයේදී කණ්ඩායමට එක් වූ සුරාජ් රන්දිව් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් වීමද කැපිපෙනුනි. එහි දී රන්දිව් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 76ක් ද දවැනි ඉනිමේදී ලකුණු 29ක් ද ලබා ගැනීමට සමත් විය.

කෙසේ  වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන දිල්හාර ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් ආබාධයන්ට ලක්ව ඇත. මොවුන් දෙදෙනාම පුහුණු තරගයන් හිදී සාර්ථක වූ පන්දු යවන්නන් හෙයින් මොවුන් අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.

එංගලන්ත, ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මැයි 26 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන ටෙස්ට් තරගය ජුනි මස 02 දින ලන්ඩන් නුවර සුප්‍රකට ලෝඩ්ස් පිටියේ පැවැත්වීමට නියමිතය.තරගාවලියේ තෙවන හා අවසාන ටෙස්ට් තරගය ජුනි 16 දින සවුත්හැම්ෆ්ට් හි රෝස් බෝව්ල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

Thursday, May 19, 2011

ජයග්‍රාහී පෙරහුරුවක් සමගින්



ටෙස්ට් හා එක්දින තරගාවලියක් සදහා එංගලන්තයට පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම තුන දින පුහුණු තරගයෙන්  එංගලන්තයේ Middlesex කණ්ඩායම කඩුලු හතරකින් (4) පරාජය කරන්නට සමත්විය. මෙම පුහුණු තරගය සදහා හිටපු නායක කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන තිසර පෙරේරා හා සුරාජ් රන්දිව් ක්‍රීඩා නොකළ අතර ඊට හේතුව වුයේ ඒ වනට විටත් ඔවුන් ඉන්දීය ප්‍රිමිය ලිග් තරගාවලියට සහභාගී වී සිටි බැවිනි.කෙසේ වෙතත් අත්දැකීම් අඩු නවකයන් බහුතරයකින් යුක්ත වු  පුහුණු සංචිතය මෙම පුහුණු තරගය ජය ගැනීම ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබද සුබ ලකුණකි. මෙම තරගයේදී පිතිකරණ අංශයෙන් නායක තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, දිනේෂ් චන්දිමාල් හා තිලාන් සමරවීර දස්කම් දැක්වීමට සමත් විය. එසේම පන්දු යැවීමේ අංශයෙන් චානක වෙලගෙදර , අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් කැපී පෙනුනි.

අද (19)  ඇරඹෙන දෙවන තුන් දින පුහුණු තරගය England Lions සමග පැවැත්වීමට නියමිත අතර එම තරගය සදහා පළමු පුහුණු තරගය සදහා ක්‍රීඩා නොකල  කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එක් වෙනු ඇති වාර්තා වේ.


පළමු පුහුණු තරගයේ ලකුණු සටහන.

Middlesex කණ්ඩායම පළමු ඉනිම 360/8
ඇන්ඩෲ ස්ට්‍රාවුස් 151, ඩැන් හවුස්ගෝ 104, මාලන් 26
චානක වෙලගෙදර 92/2 , අජන්ත මෙන්ඩිස් 83/2 , රංගන හේරත් 67/2


ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම 309/2
තිලකරත්න ඩිල්ෂාන් 123, තරංග පරණවිතාන 103, දිනේෂ් චන්දිමාල් නොදැවී 42
ඇන්තනි අයර්ලන්ඩ් 57/0


Middlesex කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙන දැවී 161
මාලන් 34, ඇන්ඩෲ ස්ට්‍රාවුස් 25
 චානක වෙලගෙදර 39/3, අජන්ත මෙන්ඩිස් 28/3, සුරංග ලක්මාල් 40/2


ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම 216/6
 තිලාන් සමරවීර 49, දිනේෂ් චන්දිමාල් 39, ලහිරු තිරිමාන්න 33
ටොම් ස්මිත් 45/2